Sunday, September 10, 2017

කඨින චීවර පූජාවේ ආනිසංශ





කඨින චීවර පූජා කිරීමේ ආනිසංශ කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.



"ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිං


මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේය යනු එහි දළ අදහසයි.


පිරිසිදු දඹ රනින් අකනිටා බඹ ලොව දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව තව තැනක දැක්වේ.


කඨින චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට තිසිහතර වාරයක් බැගින් සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව


"ආරපථෙ ආරපෙථ - චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං - චක්කවත්ති අහොසහං"

යන ගාථා පාඨය පැහැදිලි කරයි.


"පඨවිරිව න ජාතු කම්පතෙ - නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං - තමිද මතො කඨිනන්ති චුච්චති"


මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිඳෙන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහසයි.


මෙසේ කඨිනානිසනිශංස ගැන කියැවෙන ගාථා බොහෝ ගණනක් ඇත. මේවායේ දැක්වෙන උපමා ඉවත් කර ඉතා සරලව කීවොත්


"මානුසිකාච සම්පත්ති - දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති - සබ්බමේතේන ලබ්භති"


යන ගාථාවෙන් දැක්වෙන ලෙස මිනිස් ලොව, දෙව් ලෝ වල උතුම් සැප විඳීමටත් නිවන් දක්නා තුරා කල්ප ගණනක් සැපම ලබා දීමටත් මේ පිංකමට බලයක් පවතී. මෙය අට මහා කුසල් වල මුලටම කියවෙන්නේ නිර්වාණාවබෝධයටද මේ පින උපස්තම්භක වන නිසයි.


ටිකක් විස්තර කළොත්,

  • උපනුපන් සියලූ භවයන්හිදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාරපාන, ඉඳුම්හිටුම්, වස්ත‍්‍රාභරණ මෙන් ම සියලූදෙනාගේ ගරුබුහුමන්, වැඳුම්පිදුම්, පූජාසත්කාර ආදිය හිමි වේ.
  • සියලූ දෙසින් පැමිණෙන සියලූ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලැබේ.
  • සියලූ පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩු වේ.
  • මනුලොව උසස් කුල වලම උපදී.
  • චක‍්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මෙන් ම ශක‍්‍ර සම්පත්තිය ද ලැබීමට හැකි වේ.
  • කොතැනක ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප‍්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිතම ලබයි.
  • සියලූ ක්ලේශ බන්‍ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමටත් හේතු වාසනාව ලැබේ
  • කඨින චීවර පූජාවේ පරිවාර දාන මේ පිංකම කෙරෙන විට කඨින චීවරයට අමතරව තව චීවර හා වෙනත් කැප භාණ්ඩ ඕනෑ පමණක් සංඝික කර පූජා කළ හැක. ඒවාද කඨින පිංකමේ කොටස් බවට පත් වන හෙයින් අනෙක් දාන වලට වඩා මහත්ඵල මහානිසංශ වේ. කඨින පිංකමේදී පූජා කරන ඉඳි කටුව පවා බොහෝ සැප සාදා දීමේ සමත් වේ.


පෙර කළ රජ වරු පවා ඉතා උනන්දුවෙන් මේ පිංකම පැවැත්වූහ. බොහෝ රජවරු මේ පිංකම රාජ්‍ය අනුග්‍රහ සහිතව බොහෝ පිරිවර සමග එක් වී එදිනම කපු කැට නූල් අඹරා ඒවායින් රෙදි වියා ඒ වස්ත්‍ර වලින් කඩ කපා මසා චීවර නිපදවා කඨින චීවර ලෙස සකසා බොහෝ අවශේෂ පරිෂ්කාර සහිතව දන් දී පිරිවර සමග දෙව්ලෝ ගියහ.

ඒ නිසා කියන ලදී,

            පිං කැමැත්තෝ කඨින චීවර දානය කෙරේ සැදෑ ඇති කර ගනිත්වා !


No comments:

Post a Comment